Annual Rugby Encounter Between Aloysius & Richmond

News From St. Aloysius’ College – Rugby

මෙරට පාසල් රග්බි පිටියේ පැවැත්වෙන වාර්ෂික මහා රග්බි සංග්‍රාමයන් අතරින් දකුණු පුරවරයේ කාගේත් අවදානයක් දිනා ගත් රග්බි සංග්‍රාමයක් පැවැත්වෙන්නේ ගාල්ල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ පාසල් ද්විත්වයක් වන සාන්ත ඇලෝසියස් විදුහල සහ රිච්මන්ඩ් විදුහල අතරයි.
මෙවර 26 වැනි වතාවටත් සංවිධානය කරන මෙම දකුණු ලක මහා රග්බි සංග්‍රාමයේ දී ඇලෝසියස්වරුන් සහ රිච්මන්ඩ්වරුන් සුපුරුදු ලෙස “ ටී. වී. සුමනසේකර කුසලානය” වෙනුවෙන් සටන් කරනු ඇත. ටී. වී. සුමනසේකර යනු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත වූ කීර්තිමත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකි. 1992 වසරේ පැවැත්වුණු ප්‍රථම රග්බි තරගයේ පටන් තරගයේ කුසලානය ඔහු නමින් නම් කෙරුණේ ඔහුට කරන ගෞරවයක් වශයෙනි.

පාසල් ක්‍රිකට් මහා සංග්‍රාමයන් තුලින් මෙම පාසල් දෙක එකිනෙකා හමුනොවූව ද, මෙම මහා රග්බි සංග්‍රාමයේ දී ඔවුනොවුන් එකිනෙකා සමඟින් තරග වදින්නේ ක්‍රීඩාශීලීත්වය තුලින් පාසල් දෙක අතර සහෝදරත්වය වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිවයි.

පසුගිය වසරේ කොග්ගල දී පැවති 25 වැනි සංග්‍රාමයෙන් ලකුණු 20-00ක් ලෙස රිච්මන්ඩ් ක්‍රීඩකයින් පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් වාර්තා කරන්නට සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයෝ සමත් වූහ. එම තරග ජයත් සමඟින් සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් විසින් 13 වතාවක දී කුසලානය ජයග්‍රහණය කරන්නනට සමත් වෙද්දී රිච්මන්ඩ් ක්‍රීඩකයින් ජයග්‍රහණය කර ඇත්තේ මහා සංග්‍රාම 9ක් පමණි.

Hooker ක්‍රීඩක උදාර සචින්තගේ නායකත්වයෙන් මෙවර සංග්‍රාමයට පිවිසෙන රිච්මන්ඩ් කණ්ඩායම සඳහා ගුරුහරුකම් ලබා දෙන්නේ එස්. පී. කේ. සමරහේවා මහතා විසිනි. ඔවුන්ට හොඳ තරගයක් දෙමින් 14 වැනි වතාවටත් කුසලානය තමන් සතුකරගන්නට මාන බලන සාන්ත ඇලෝසියස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස දිලංග සංදීප මහතා කටයුතු කරන අතර කණ්ඩායමේ නායකයා ලෙස වගකීම් දරන්නේ හිරුවින්ද කවිෂාන් විසිනි. ඔහු Center ස්ථානයේ කටයුතු කරයි.

ගාල්ල ප්‍රදේශයම උණුසුම් කරන 26 වැනි දකුණු ලක රග්බි සංග්‍රාමය මේ මස 15 වැනිදා, සඳුදා පැවැත්වීමට නියමිතයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *